මල් පූජා කරමුද?

45481179_760557884298700_4502271262705319936_n

බුදු පියාණන් වහන්සේට මල් පූජා නොකරපු බෞද්ධයෙක් ඇතැයි කියා මම හිතන්නේ නැහැ. එහෙත් කීදෙනෙක් නම් මල් පූජාවේ හරය දන්නවා දැයි මම නොදනිමි. මට හිතුනා ඒ ගැන යමක් ලියන්න.

මලක් නෙලා ගෙන හෝ විකුණන තැනකින් අරගෙන ඉතාමත් ශ්‍රද්ධාවෙන් තමයි මල් වලට පැන් ඉහලා බුදුන් වහන්සේ පාමුල තියලා ගාතා කියලා වැදලා පූජා කරන්නේ. සමහරු මල් වල නැට්ට කඩලා පූජා කරනවා සමහරු මල් නැට්ට එක්ක පූජා කරනවා. සමහරු කියනවා එහෙම හොද නැහැ කියලා.( හැබැයි නැට්ට තියෙන මල නැට්ට නැති මලට වඩා වැඩි කාලයක් පරවෙන්නේ නැතිව තියෙනවා. ඒ අනුව සිතා නැට්ට ගැනතීරණයක් ගන්න.) සමහරු මලක් බිමට වැටුනොත් ඒක පූජා් කරන්න හොදනැහැ කියනවා. සමහරු මල් පූජාව කියන්නේ මිත්‍යාවක් කියනවා සමහරු මල් කඩන එක පවක් කියනවා මේ වගේ කතා ගොඩයි.

මල් පූජාව ආරම්භ වෙන්නේ එක් සිටු ගෙදරක සේවිකාවක් බුදුන් වහන්සේ මග වඩිනවා දැක පූජා කරන්නට යමක් නැති නිසා වැටකොළු මලක් පූජා කරලා දිව්‍ය ලෝකෙ ඉපදුනා කියලා විමාණ වත්තුප්පකරණයේ කතාවක් තියෙන නිසා. අපේ උදවියත් මලක් කඩලා හෝ මිලට අරං පූජා කරලා බලා පොරොත්තු වෙන්නේ ඒවගේ දිව්‍ය ලෝකයේ යන්න. ඒත් වැඩේ ලේසි නැහැ.

මල් පූජා කරන ගාතාවේ තියෙනවා ඉතාමත් වැදගත් කාරණා කිහිපයක් අපි ඒ ගැනවත් තේරුම් ගත්තා නම් මල් පූජාවෙන් අපිට යමක් ලැබෙනවා. ඒත් දැන් මල් පූජා කරන්නේ කිනම් සිතක් පෙරදැරි කරගෙන දැයි සිතන්නට අමාරුයි.

පූජේමි බුද්ධං කුසුමේන නේන
පුඤ්ඤේන මේතේන ච හොතු මොක්ඛං
පුප්පං මිලායාති යථා ඉදං මේ
කායො තථායාති විනාසභාවං

නොයෙකුත් ආකාරයේ මේ මල් බුදුන්ට පුදමි.මේ පිනෙන් මට නිවන් සැප ලැබේවා! මේ මල් මිලාන වෙන්නේ යම් සේද එසේම මාගේ ශරීරයද මරණයට පත් වන්නේය.

‍මේ විදිහට මල් පූජා කරන්නේ කීයෙන් කී දෙනාද? මල් ටික ලස්සනට තියෙන කම් හොදයි. එහෙම නැති වුනොත් කල කිරෙනවා. මල් ගෙනාව කෙනත් බැණුම් අහනවා. ඇයි පරවුණු මල්නිසා.

මම මේ කියන්න හදන්නේ නම් දිව්‍ය ලෝකෙ යන ගමනක් ගැන නෙවෙයි. නිවන් මග පූර්ණය කරගන්නට මල් පූජාවෙන් යමක් එක් කරගන්නට හැකි ක්‍රමවේදයක්. මල් පූජාව ශීලයද, හදුන්කූරු පූජාව සමාධියද, පහන් පූජාව ප්‍රඥාවද පිලිබුඹු කරයි. අපි මුලින්ම මල් පූජාව හේවත් ශීලය ගැන කතා කරමු. පසුව ඉතිරි දෙක ගැනද ලියන්නම්.
දැන් අපි මල් පූජා කරමු. මල් පූජාව භාවනාවක් සේ වඩන්න. ඒ සදහා මේ කරුණු සිතට ගන්න.

මගේ අතේ තියෙන මේ මල හරිම ලස්සනයි, සුවදවත්, කාගෙත් සිත් ගන්නවා. මම මේ මල බුදුන් වහන්සේට පූජා කරන්නයි යන්නේ. ඊට කලින් මම මේ මල ගැන සත්‍යය අවබෝධ කරගන්න ඕනි.

මල මේ තරම් ලස්සන වුනේ ඇයි. මේ තරම් සුවදවත් වුනේ ඇයි. දවල්ට පිපෙන මල් වලට වඩා රෑට පිපෙන මල් සුවදයි. මේ ලස්සන සහ සුවද දෙකේම අරමුණ සමනල්ලුන් , බඹරුන්, මීමැස්සන් තමන් ලගට ගෙන්ව ගන්න එකනේද? ඒ සමනල්ලුන්, බඹරුන්, මීමැස්සන් ඇවිල්ලා පැණි උරා බොනවා හරීම ආශාවෙන්. ඒ අතර එයාල මෙ මලේ පරාගණයට උපකාර කරනවා. මල් පැණි බිව්වට ප්‍රතිඋපකාර කරනවා වගේ. දැන් මල පරවෙලා යනවා.මල තමන්ට අවශ්‍ය කාර්‍යය කරගෙන ඉවරයි. දැන් බඹරු එන්නෙත් නැහැ. සමනල්ලු එන්නෙත් නැහැ, මීමැස්සන් එන්නෙත් නැහැ. සුවද ඇත්තේත් නැහැ. පැණි ඇත්තෙත් නැහැ. ඒ සියල්ල නැතිවෙලා ටික ටික මල පරවෙලා යනවා. පෙති ටික වැටිලා යනවා. ටික දවසක් යනකොට මල් පෙති වලට යටින් පොඩි ගෙඩියක් ඇවිත්. අනේ මේ මල කරලා තියෙන්නේ මොනතරම් රගපෑමක්ද? තමන්ගේ වැඩේ කරගන්නකම් තමයි මේ ලස්සන, පාට, පැණි, සුවද සියල්ලම තියාගෙන ඉදලා තියෙන්නේ. දැන් ඉතින් තමන්ගේ වැඩේ කරගත්තා ඒ දේවල් අමතක කරලා දැම්මා. මල කියන්නේ බලාගෙන ගියහම ආර්ත්මාර්තකාමී මවා පෑමක් කියලත් හිතෙනවා.

බලාගෙන ගියහම මමත් ඒ වගේ නේද? මමත් ලස්සනට ඇදලා, සුවද ගල්වලා, හැඩ වැඩ වෙලා තවත් කෙනෙක් ගේ සිතේ යම් රාගයක් ඇවිස්සෙන විදිහට නේද වැඩ කරන්නේ. මමත් යම් දවසක මගේ අවශ්‍යතා ඉටුවුනාට පසු මේ සියල්ල අමතක කරලා මගේ දරුවන් ගැන සිතන්නට කල් ගත කරයි නේද? එදාට මේ මගේ ඇදුම් මේ මැළවුනු පෙති වගේ තියෙයි නේද? මගේ ජීවිතය පුරාවටම මේ මායාව කරගෙන අවා. දැන් මල නුඹ නිසා මට යමක් වැටහුනා. අද නුඹ මල් ගහෙන් කඩලා මගේ අත උඩ ඉන්න නිසා නැවතත් නුඹට ඒ මායාව සිදුකරලා තවත් ගෙඩි හදන්නට බැහැ. දැන් නුඹ නිදහස්. මමත් මාගේ ඒ කෙලෙස් සහිත මායා සහගත සිත කඩලා ඉවත ලනවා. මටත් දැන් ඒ සත්‍ය්‍ය තේරෙනවා. මම දකින නිවන මේ මල තුලින් මම අද දැක්කා. මේ මල මම බුදුන් පාමුල තබා මාගේ කෙලෙස් සහිත සිතද මේ මල් ආසනය මතම තබා යන්නට වෙරදරමි.

සාදු සාදු සාදු…

ඔබට යමක් ලැබුනා නම් තවත් කෙනෙකුට දායාද කරලා ඒ පින ඒ අයටත් කරගන්න සලස්වන්න.

‍පෝෂණ වේදී…
~ ආචාර්‍ය නයන තේනුවර. ~
https://t.me/nayana

මෙත්සිතිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *