ඔබ දන්නාවාද ඔබ දන්නා දේට වඩා නොදන්නා දේ වැඩි බවත්, නොදන්නා බවවත් නොදන්නා දේ ඊටත් වඩා වැඩි බවත්.

82986570_107706774598104

ඔබ මේ ටික දන්නවා නම් ඔබ පණ්ඩිතයෙක්. ඔබට බහුස්රුතයෙක් වෙන්නට ඇති හැකියාව ඉතා වැඩිය. දැනුම පසුපස හඹා යන පිපාසයක් ඇති අයට මේ දැනුම ඇත. ඔවුන් සෑම විටම සාවධානය. අනෙකා යමක් ප්‍රකාශ කරන විට හොදින් අසා සිටී. මැද්දෙන් පැන පැන තර්ක විතර්ක නොදමයි. මොහු මේ කියන්නේ කුමක්දැයි ඉතාමත් සාවධානව අසා සිටී. ඔබත් එවැනි කෙනෙක් දැයි ඔබගේම හදවතට තට්ටු කර අසා දැනගන්න. ලෝකයේ සිටින මිනිසුන්ගෙන් 99% කට වැඩි පිරිසක් මේ දේ නොදන්නා පිරිසයි. ඔවුන් තමන් දන්නා දේ තමයි හරි කියන තැන හිරවෙලා වල්මත් වී සිටි. මේ නිසාම අලුත් දෙයක් ඉදිරිපත් කරන කෙනාට ගල් මුල්වලින් සංග්‍රහ කරන්නට නොපැකිලිව ඉදිරිපත් වෙයි. එදා බුදුන් වහන්සේටද, ජේසුස් වහන්සේටද මේ තත්වයට මුහුන දෙන්නට සිදුවිය.
බුදු දහමටත් අද මේ දේ සිදුවී හමාරය. එදා තතාගතයන් වහන්සේගෙන් මහාප්‍රජාපතී ගෝතමිය පැනයක් අසා සිටිය. තතාගතයන් වහන්ස යම් දවසක ඔබවහන්සේගේ දහම විකෘති කර එක් එක් අය පවසාවි. එදාට කෙසේද ඔබවහන්සේගේ දහම සහ විකෘති කරන ලද දහම වෙන් කර හදුනාගන්නේ. මම හිතන්නේ ඔබටත් අද මේ ගැටලුවට මුහුන දෙන්නට සිදුවී ඇත. එය නිරාකරණය කරගන්නා ආකාරය මේ අවස්ථාවේ තතාගතයන් වහන්සේ හරිම සරල ආකාරයට දේශනා කලා. යමෙක් ධර්මය ලෙසට යමක් ප්‍රකාශ කරයිද එම ධර්මය නිසා යම් කෙනෙකුගේ චිත්ත සංතානය තුල ලෝභ දෝෂ මෝහ යන අකුසල මූලයන් හට ගනී නම් ඒ තතාගතයන් වහන්සේ දේශණා කල දහම නොවේ. යමෙක් දේශනා කරන ධර්මය නිසා ශ්‍රාවකයාගේ චිත්ත සංතානය තුල ලෝභය ක්ෂය වන්නේද, ද්වේෂය ක්ෂය වන්නේද, මෝහය ක්ෂය වන්නේද ඒ දේශනා කරන ධර්මය තතාගතයන් වහන්සේ දේශනා කරන ධර්මයයි. ‍මේ අනුව ධර්මය තෝරාගන්නට හැකිනම් අපි තතාගත දහම වටහාගන්නට සුදුස්සන් වේ.අපිට කවුද කියන්නේ කවුරුන් විසින් දේශනා කල දෙයක්ද යන කරුණු වැදගත් නොවේ.

තතාගතයන් වහන්සේ ගේ දහම තම තම ණැන පමණින් දැනගත යුතු බව ධර්මයේම ගුණයක් වේ. තමන්ගේ නුවණේ ප්‍රමාණය අනුව තමන්ට දහම තේරෙන්නට පටන් ගනී. එහෙත් තතාගතයන් වහන්සේ ධර්මය අසන ආකාරය සහ තේරුම් ගන්නා ආකාරය ගැන මෙසේ සදහන් කර ඇත. යමෙක් යමක් දේශනා කරනවිට එය අසා තමන් සිටින ස්ථාවරය වෙන්ස් කරගන්නට නම් පහත අදියර පහ ඔස්සේ ඔබ ධර්මය ශ්‍රවණය කර අවබෝධ කරගත යුතුයි.

සුතා…. අසන්න

දතා…. දරාගන්න

වචසා පරිචිතා… අසා දරාගත් දෙය වචී සංකාර වලට පෙරලන්න.

මනසාණුපෙක්ඛිතා… දැන් ඒ වචන නුවණින් විමසන්න.

දිට්ඨියා සුප්ඵටිවිජ්ජා… දැන් ඔබගේ නුවණට වැටහේනම් මම මේතාක් සිටි ස්ථාවරය වැරදියි කියලා දෘෂ්ටිය පිරිසිදු කරගන්න.

‍මේ අවස්ථා පහ ඹ්නෑම දැනුමකට පොදුයි. ධර්මය වේවා. විද්‍යාව වේවා වෙනයම් කාරණයක් වේවා මේ ආකාර පහ තුලින් ඔබ ගමන් කරනවා නම් ඔබට සත්‍යය දකින්නට හැකිවේවි. එසේ නොවන තාක් ඔබ ඔබගේ මතයේ සිටින උන්මත්තකයෙක් නැත්නම් ඔවුන්ගේ මතයේම සිටින්නන් වේ. මේ නිසා තමයි තතාගතයන් වහන්සේ සබ්බේ පුතජ්ජනා උන්මත්තකා කියලා දේශනාකරලා තියෙන්නේ. එයද අද පැහැදිලි කරන්නේ සියලු පෘතජනයන්ට පිස්සු කියලයි. මේ කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. ඔවුන් තමන්ගේ මතයෙන් බැහැර වෙන්නට කැමති නැහැ. පෘතජන භාවයෙන් ඉවත් වන කෙනා ආර්‍ය භාවයට පත්වේ. ඒ සෝවාන් මාර්ගයයි. සෝවාන් මාර්ගයේ හෝ යම් ඵලයක සිටින කෙනෙකු ආර්‍යයන් වහන්සේ නමක් ලෙසට හදුන්වයි. ඒ කෙනා පමණක් පෘතජන භාවයෙන් මිදේ. ඉතින් සබ්බේ පුතජ්ජනා උන්මත්තකා කියලා දේශනාවේ තියෙන දේ නිවැරදි බව අපට වටහාගත හැකිය.

ඔබත් ඔබගේ මතයේ සිටිනවාද? නැත්නම් මතය ටිකකට පැත්තකට කර සවන් දෙනවාද කියලා සිතා බලන්න.

‍මෙත් සිතිනි.

නයන තේනුවර.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *