ඔබටත් උණ ගන්නවාද?

අපි මේ ගෘප් එක පටන් ගන්නට හේතු වුයේ පෝශණය සහ රෝග අතර ඇති සම්බන්ධතාවය ජනතාව අතර ප්‍රචලිත කිරීමටයි. එපමණක් නොව රෝග ඇතිවිම සහ පවත්වාගෙන යෑම සදහා හේතු වන මනස සහ කර්මය ගැන ඔබව දැනුවත් කරන්නටය. ඒ අනුව ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍යයක් ලෙසට මේ ගෘප් එක අපි යොදාගත්තා.

‍රෝගයක් යනු පෝෂණ ඌණතාවයක් බව වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙන හිපොක්‍රටිස් ප්‍රකාශ කර තියෙනවා. නමුත් අද වන විට පියා ගිය අඩිපාරේ නොයන පුතාලා ඒ වචන ටික තුට්ටුවකට මායිම් නොකර රෝග ලක්ෂණ කළමණාකරණයේ යෙදී සිටිනවා. එයට හේතුව මම මෙහි කතා කරන්නනේ නැහැ.

අපි රෝගයකින් වැලකෙන්නට නම් මුලින්ම අපි තේරුම් ගත යුතු මුල ධර්මයක් තිබෙනවා. ඒ තමයි අපගේ සිරුර ස්වභාවයෙන්ම රෝගාබාධ වලින් තොරව සිටින්නට නිර්මාණය වී ඇති බව. රෝගයක් අපට සැදේනවා නම් ඊට ප්‍රතිවිරුද්ධව සටන් කරන්නට සූදානමින් සිටින බලකායක් අප සතුබව අප දැනගත යුතු වෙනවා. යුද්ධයකට යන සොල්දාදුවාට ආහාර ලබා දෙන්නේ නැත්නම් ජලය ලබා දෙන්නේ නැතිනම් ඒ සොල්දාදුවා සතුරා අතින් මරණයට පත්වන බව ම කිවයුතු නොවේ. එය තමයි යතාර්ථය. අපගේ ශරීරයත් එසේමයි. අප නිතර සතුරන්ට මුහුණ දෙනවා. බොහෝ වෙලාවට අපි දන්නේවත් නැහැ අපගේ සිරුරේ සිටින යුධ හමුදාව ඒ සතුරන් පරාජය කර අවසන්. සමහර වෙලාවට ඒ සතුරන්ට අවශ්‍ය භට පිරිස් සකස් කරන තෙක් දින තුනක් පමණ බලා සිටිින්නට වෙනවා. ඒ කාලය තුලදී මේ සතුරන් බෝවීම වැලැක්වීම පිනිස අප සිරුරේ උෂ්ණත්වය වැඩි කරලා තබනවා. අනේ ඉතිං මේක දන්නේ නැති අපි ඉකිමනට දුවනවා දොස්තර මහත්තයා ගාවට උණට බෙහෙත් ගන්නට. දොස්තර මහත්තයා දන්නවා මේ උණ ගැනිලා තියෙන්නේ ඇයි කියලා. ඒ නිසා තමයි දොස්තර මහත්තයා කියන්නේ දින තුනක් බලලා උණ බැස්සේ නැත්නම් එන්න කියලා. ගොඩක් උණ නම් තෙත තුවායකින් පිසදාන්න වගේ තාවකාලික උපක්‍රම වුනත් කියලා දෙනවා.

ඔබ කවදාවත් සිතුවාද මොකක්ද මේ වෙන්නේ කියලා. අපගේ ශරීරයේ ප්‍රතිශක්ති කරණ පද්ධතිය අප සිරුරට ඇතුළු වූ බැක්ටීරියාව හෝ වෛරසය පරාජය කරන්නට හමුදාව සුදානම් කරන තුරු ඒ බැක්ටීරියාවට හෝ වෛරසයට වර්ධනය වන්නට නොහැකි වන ලෙසට ශරීර උෂ්ණත්වය වැඩි කරලා තැබීමයි මේ කරන්නේ. මේ වගේ වෙලාවට අපේ මුතුන් මිත්තන් කලේ ප්‍රතිශක්තියට තවත් උදව් කරන එකයි. ඉගුරු කොත්තමල්ලි, පත්පාඩගම්, වෙනිවැල් ගැට කටුවැල් බටු වලින් කරන්නේ මේ කාර්‍යයයි. උණ අරං දින තුන අවසන් වන විට දැන් බැටෑලියන් එක සුදානම්. අපි ප්‍රතිශක්තියට තවත් ආධාර කරලා නම් භට පිරිස් ඉතාමත් ශක්තිමත්. එයයි පැරණි හෙළ වෙදකම මගින් සිදු කලේ. දැන් ඉතින් ශක්තිමත් භට පිරිස් විසින් දිගට හරිහට පහර දීලා සතුරාව පරාජය කරනවා. අවසානයේ මේ සටනේදී විනාශ වූ යම් ශරීර කොටස් ඇද්ද ඒවාද ඉවත් කරලා තමයි සටන නවත්වන්නේ. උණ ගත්තට පසු කහපාටට මුත්‍රා පිටවන්නේ ඒකයි. ඒ අර අපද්‍රව්‍ය බැහැර කරන නිසා.

එපමණක් නොවෙයි යම් දවසක ආපහු මේ සතුරා ආවොත් ඉක්මනින් ඊට සරිලන භටපිරිස් සකස් කරන්නට හැකි වන ලෙසට මතක සටහනක්ද තබා ගන්නවා. ඉතිං ආපහු උණ ගන්නට අවශ්‍ය වන්නේ නැහැ. සතුරා දුටු විගස පහර දීලා විනාශ කරන්නට හැකි වෙනවා.

අපගේ ශරීරයේ තිබෙන මේ හැකියාව අපි වර්ධනය කරගත යුතුයි කියලා හිතෙන්නේ නැද්ද? ඇත්තටම අපි කල යුතු වන්නේ එයයි. එදා වෛද්‍ය විද්‍යාවේ පියා පැවසූ ලෙසට අපි අපගේ ආහාර වේල නිසිලෙස පෝෂනයෙන් අනූනව සකසා ගත යුතු වෙනවා. එවිට අපගේ ශරීරයට බාහිර සතුරන් ඇතුලු වී වැඩ පෙන්වන්නට ඉඩ ලැබෙන්නේ නැහැ. අපගේ ප්‍රතිශක්තිය ශක්තිමත් වෙනවා. එසේම බෝනොවන රෝග වලට හේතු වන පෝෂණ ඌණතා හටගන්නේද නැහැ.

නමුත් දැන් සිදුව ඇත්තේ කුමක්ද? ආහාර වලට වස විස ගහලා. අක්මාව මේ වස විස සිරුරෙන් ඉවත් කරගන්නට නොහැකිව හඩා වැලපෙනවා. වකුගඩු වල ඇති ගුච්ඡිකා පෙරණ වලින් මේ වස විස පෙරාගන්නට බැරිව මරණයට පත් වෙනවා. පෙණ හලු දුම් වලින් පිරිලා තාර එකතු වෙලා හුස්ම ගන්නට බැරුව පණ අදිනවා. පාන් පිටි කාල කාල ග්ලූටන් නිසා බඩවැල් වල අංගුලිකා විනාශ වෙලා අවම ලෙසට හෝ ලැබෙන පෝෂණය හෝ අවශෝෂණය කරගන්නට බැරුව ලත වෙනවා. ඉතිං දැන් මේ කතාව කෙලවර වන්නේ කොතනින්ද? මේ පුද්ගලයා බෝ නොවන රෝග ගණනාවකට මුහුන දෙනවා. ඇයි මේවා බෝ නොවන්නේ. එක් එක්කෙනාගේ සිරුරේ ඇති පෝෂණ සංයුතිය වෙනස් නිසා එකම රෝගය තවත් කෙනෙකුට වැලදෙන්නේ නැහැ. නමුත් එකම නිවසක සිටින පිරිස බොහෝ විට එකම ආහාර ගන්නා නිසා පෝෂන මට්ටම සමාන විය හැකියි. එවිට මව, පියා දුව පුතා වගේ සියලු ම දෙනාට එකම රෝගය තිබෙන්නටද පුලුවන්. නමුත් එවැනි අයගේ පෝෂණ ඌණතා මැණ බලනවා වෙනුවට මෙයට හේතුව ජාන බවට ප්‍රකාශ කර ෆයිල් එක වහලා දානවා. ඔබගේ ණුවනින් විමසා බලන්න. තවමත් පමා නැහැ.

එසේ නම් අප සිදු කල යුතු වන්නේ කුමක්ද? අපගේ සිරුරට අවශ්‍ය පෝෂණය ලබා දීම නොවේද? මා දන්නා වෛද්‍ය ක්‍රමයට අනුවනම් අප කල යුතු වන්නේ එයමය. අපි ඒවා ආහාර හෝ අතිරේක ආහාර ඔස්සේ ලබා දෙන්නට කටයුතු කරන අතර ඊට වැට කඩොළු බදින පිරිස් එමටය. ඒ මේවා ගැන කිසිදු පර්යේෂණයක් නොකර ඊර්ශ්‍යාව සහ ක්රෝධය මත පමණක් පදනම්ව විරෝධතා එල්ල කරන ඊණියා උගතුන් පිරිසක්ය. ඒ අයටද මේ සත්‍යය වැටහේවායි කියා ප්‍රාර්ථනා කරමි.

මෙත් සිතිනි
පෝෂණ වේදී
නයන තේනුවර.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *